Monday 14 March 2016

පන්හිඳ කගපතක් කරගත් සුනිල හදවත- සුනිල් මාධව ..




ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි.

ප්‍රතිවිරෝධතාවල ස්වරූපය සුනිල් අයියා දැනසිටියේ නැත..


වෘත්තින් රැසක් අතර පත්තර රස්සාව පත්‍රකලාවේදය යැයි හැඳින්වෙන්නේ ඒ තුළ වූ විද්‍යාවත් කලාවත් යන ද්විත්ව ගුණාංගය නිසාය. එහෙත් පත්තරකාරයකු වීමට යත්න දරන ඇතැමුන්ගේ අවසන් පරමාර්ථ අතර වන්නේ බලය ගොඩනගාගැනීමය. පත්තර රස්සාව තුළ තමා නියෝජනය කරන අංශය තුළ වූ බල සබඳතා ඊට පිහිටට එයි. මේ නිසාම අන්තිමේදී පත්තරකාරයාට ද නිතැතින්ම දේශපාලනයක් තිබේ. සුනිල් මාධව ප්‍රේමතිලක නම් වූ ඒ සොඳුරු පත්තරකාරයාට ද දේශපාලනයක් තිබුණේය. ඒ හඬක් නැති මිනිසුන්ට හඬක් වීමේ දේශපාලනයයි. අවවරප්‍රසාදිතයන්ට, නිර්ධන නිර්බල පීඩිත ජීවිතවලට හෙටක් හැදීම වෙනුවෙන් වූ දේශපාලනයයි. ජාතියක ජීවනාලිය තරුණ පරපුර යැයි සිතූ දේශපාලනයයි. ඒ දේශපාලනයේදී සුවහසක් වූ සටන්කාමී ගෝලයන්ට යෂ්ටිය දෙන්නට තවත් පරපුරක් හදන්නට ඔහු පැකිලුණේ නැත. ඒ ඔහු තුළ ඇතැම් මාධ්‍ය ඔස්තාද්ලාට මෙන් බලයේ මහන්තත්වයක් නොතිබූ බැවිනි. මේ නිසා සැබැවින්ම ඔහු සිය ගෝල බාලයන් පවා සැළකුවේ සහෝදර සටන් සගයින් මෙනි.

විප්‍රවාසී දිවියක වේදනාව- රෝහිත භාෂණ


පැරැණි වාමාංශික කොටස්වලින් කැඩී වෙන් වී පිහිටු වූ නව දේශපාලන ව්‍යාපාර, විකල්ප පුවත්පත්කලාවට බැඳි පෙමින් අකුරු කළවුන්, ජනතාවාදී කලාවක් ගොඩනැගීමේ සිහිනයක සිටි පිරිස් ඇතුලු ප්‍රගතිශීලී සමාජ කොටස් රැසක් එකවර ඔහුගේ සේවනයත් සෙවණත් ලැබුවේය. සුදර්ශිය, මහජන පුස්තකාලය ආදී තැන් මේ බොහෝ දෙනාගේ කතිකා මණ්ඩප විය. වාද විවාද පුරාවට අලුත් ලේ සමඟ ගනුදෙනු කළ සුනිල් අයියා ඒවා අවසන සාද කතා සඳහා මධුවිතක් පුරන්නට ගියේ ද බොහෝ විට ඒ තරුණ කොටස් සමඟය. ඇත්තටම පත්තර කලාවෙන් ගොඩයනවා නම් සුනිල් අයියාට බොහෝ මං පෙත් විවරව තිබිණි. එහෙත් ඔහු විශ්වාස කළ දේශපාලන ධර්මය විසින් ඒවා අලුයම ලූ කෙලපිඩක් තරම්වත් අගය කරනු ලැබුවේ නැත. එසේ වුවත් සුනිල් අයියා නිසා ගොඩ ගිය අයගේ ගණන බැලුවද සංඛ්‍යාත්මකව සුළුපටු නැත. වහන් රහිත දෙපයින් ඇවිද ගිය, පත්ඉරු මත සිමෙන්ති පොලොවේ රැය පහන් කළ ඒ ඇතැමුන් අංශක එකසිය අසූවකින් දේශපාලන කරණම් ගසා කැබිනට් ඇමැතිවරු දක්වා යද්දී සුනිල් අයියා සමසිතින් ඒ දෙස බලාසිටියේය.

කොළඹ යුගයේ සුප්‍රකටම කවියකු වූ මීමන ප්‍රේමතිලකයන් වනාහි සුනිල් අයියාගේ ආදරණීය තාත්තාය. මීමන ප්‍රේමතිලකයන්ට කවිත්වය රුධිරයට මුසු වූයේ යම් සේද සුනිල් අයියාට ජනතාවාදය නමැති කලාව රුධිරගත වී තිබිණි. පැටි වියේ සිටම මාධ්‍ය ලෝකයට පෙමින් බැඳුණු සුනිල් මාධව ශත දහයේ විශ්ව විද්‍යාලය හෙවත් සිළුමිණ තුළින් මාධ්‍ය ජීවිතය අරඹන්නේ බෙනඩික් දොඩම්පේගම නම් වූ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියා ගුරුතන්හි තබාය. සිළුමිණ, දිනමිණ, සරසවිය හා ජනතා ආදී බේරෙගෙදර පත්තර රැසක ඔහු අකුරු කළේය. එහෙත් ස්වාධීනත්වය දැඩි සේ අගය කළ සුනිල් මාධවගේ මාධ්‍ය ජීවිතයේ ඔහුගේ නිසග ජනතාවාදී කලාව ආරම්භවන්නේ දිවයින පුවත්පතෙනි. තරුණ අසහනයත් අපේක්ෂාභංගත්වයත් රජ කරමින් පැවැති මොහොතක සුනිල් අයියා ආරම්භ කළ 8 වැනි පිටුව අයුක්තියට එරෙහිවූවන්ට පහන් තරුවක් බඳු විය. පැවැති දේශපාලනය ප්‍රශ්න කරමින් ඇරඹුණු තරුණ ප්‍රවාහය සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අකුරු සමඟ ඉදිරියටම ගලා ගියේ පාලක පංතියේ කෝපයට ලක්වෙමිනි. ක්‍රමයට අනුගත වෙන බොහෝ දෙනා අතර සුනිල් අයියා තරුණ පරපුරේ නොමද ගෞරවාදරයට පත්වන්නට එය ප්‍රබල හේතුවක් විය.


සුනිල් අයියා විභූති මල්ලි ගැන නිහඬ ඇයි?

සමාජයේ ප්‍රභූ තන්ත්‍රයේ ඇසුර මාධ්‍ය වෘත්තියේ ස්වභාවයෙන්ම හිමිවන්නක් වුවද සුනිල් මාධව හිටගත්තේ නිර්ප්‍රභූන් සමඟය. සටන් කළේ නිර්බලයන් වෙනුවෙනි. වෘත්තියෙන් ලැබෙන දේශපාලන බලයෙන් ඉහළ මාලයට පැනගන්නට දත කන පිරිස් අතර ඔහු වාසය කළේ පහළ මාලයට වීය. මේ නිසාවෙන්ම ලද පොදු ජන ඇසුර ඔහුගේ අකුරුවලට ජීවය කැව්වේය. ඒවා ව්‍යාජ කාව්‍යෝක්ති නොවී ඇත්ත ඇතිසැටියෙන්ම දුටු ලිපි විය. සත්‍යවාදියකුගේ දිනපොතක් ලිවීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුවද ඔහු ඒ කාරිය සැහැල්ලුවෙන් කළේ එහෙයිනි. මේ ඇත්ත ලිවිම නිසාම පත්තර ජීවිතයේ හැලහැප්පීම්වලින් ද අඩුවක් නොවූ සුනිල් අයියා කීපවරක්ම පත්තර රස්සාව දමාගසා ගෙදර ගියේය. එහෙත් එයින් ඔහුගේ මතවාදය වියැකී ගියේ නැත. ලක්මිණ , ලක්දිව වනාහි ඒ නොමියෙන මතවාදයේ නව ප්‍රකාශනයෝය. විනී හෙට්ටිගොඩ, රෝහිත භාෂණ, විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම, තිඹිරියාගම බණ්ඩාර එවක ඒ සහෝදර කතු මඩුල්ලේ සටන් සගයෝ වූහ. ලාංකික දේශපාලනයේ ඓතිහාසික සරදම් මේ යැයි කියාපාන්නට මෙන් අද ඒ මිතුරන්ගෙන් කෙනෙකු කැබිනට්ටුවට යද්දී තවකෙකුට මව්බිමෙන් ඈත්ව විප්‍රවාසී ජීවිතයක් ගතකරන්නට සිදුව තිබේ. 

සුනිල් අයියා නොදකින විභූතිගේ අවතාරය..


සුනිල් අයියාගේ දිවිසැරියේ පත්තර ලකුණ සනිටුහන් කරන එක් හරස්කඩක් හැටියට මේ මිත්‍ර සමාගමේ කතාව අපට හැඳින්විය හැකිය. සුනිල් අයියාගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂීම කාලයක් හැටියට හැඳින්විය හැක්කේ පොදු ජන ප්‍රාග්ධන සම්පාදනයෙන් ආරම්භ කළ හිරු පුවත්පතයි. අතිශය දේශපාලනික වැඩපිළිවෙලක් හැටියට දියත් වූ හිරු පුවත්පත විමුක්ති දේශපාලන සටන්බිම සෘජුව අරමුණු කරගනිමින් ආසන්න අතීතයේ තැබූ සළකුණ සුවිශේෂීය. බලය සඳහා බලය පසුපස දිවිම මිනිස් ස්වභාවයේ මූලික ලක්ෂණයක් යැයි කීවේ තෝමස් හොබ්ස්ය. මෙය සාමාන්‍ය මිනිසුන්ට අදාළ වන්නේ යම්සේද ඊට වැඩි බරකින් යුතුව මාධ්‍යවේදීන්ට අදාළවේ. රාජ්‍ය බලය විසින් සියල්ල හසුරුවනු ලබන ලංකාව වැනි රටවලදී ඒ යථාව තවත් දරුණු වේ. එහෙත් පත්තර ලෝකයේදී මේ කතාව උඩියටිකුරු කළ මිනිසෙකි. හේ ආදරණීය සුනිල් අයියාය. ඒ ඔහු මිනිසුන්ට අප්‍රමාණව ආදරය කළ නිසාය.

No comments:

Post a Comment